Sunday, May 19, 2024

General line - 0115112241

රූමස්සල කදුවැටිය අසල අනතුරට පත් නෞකාවේ තෙල් කාන්දුවීමේ අවධානමක් (PHOTOS)

ලලිත් චාමින්ද - ගාල්ල




රූමස්සල කදුවැටිය අසල දි  අනතුරට ලක්ව ඇති "ශ්‍රී ලංකා ග්ලොරියා" නැමති වෙළද භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් විසිරියාමකට ලක්වුවහොත්  බොනවිස්ටා කොරල් පරයට මෙන්ම සාගර සම්පතටද හානිවිය හැකි බැවි සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්රිදිප් කුමාර පවසනවා.

අනතුරට පත්ව ඇති නෞකාව තුල ඩිසල්වලට සමාන තෙල් ටොන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් තිබෙන බවට වාර්තා වි ඇති බවත් මේවනවිට පවතින අධික රළ පහරත් සමග එම තෙල් කාන්දුවිමට ලක්වුවහොත් පාරිසරික වශයෙන් විශාල හානියක් විය හැකි බවයි සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ.

මෙම නෞකාව තුලින් මුහුදට හා බොනවිස්ටා කොරල්පරයට පාරිසරික වශයෙන් බලපැමක් වි ඇද්දැයි සොයා බැලිම සදහා සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අද (19) පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.

දැඩි සුළං හා මුහුදේ ඇති රළු ස්වභාවය නිසා නෞකාව වෙත යාමට සමුදු ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාට නොහැකිවු අතර ඔහු රූමස්සල කන්ද පාමුල සිට අනතුරට පත් නෞකාව නිරික්ෂණය කරනු ලැබුවා.

පාරිසරික වශයෙන් සමුද්‍රයට හා කොරල්පරවලට හානියක් වි ඇද්ද යන්න පිළිබද තක්සේරු කළහැක්කේ මුහුද යලි යථා තත්වයට පත්වු පසුව බව මෙහිදි ඔහු සඳහන් කලේ.

" සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටුවේ කාර්ය තමයි පළමුව ආරක්ෂා සහිතව මෙම නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කරන්නේ කියලා කෙසේද කියා සොයා බලන එක. නෞකාවේ තියෙන තෙල් ටොන් 10ක් හෝ 15 ක් අතර ප්‍රමාණය  අධික රළ පහරත් සමග කාන්දුවිමට ලක්වුවහොත් පාරිසරික වශයෙන් විශාල හානියන් වෙන්න පුළුවන්.  බොනවිස්ටා කොරල්පරයටත් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා ආරක්ෂාකාරි ලෙස නෞකාවේ තියෙන තෙල්ටික ඉවත් කළයුතුයි. නෞකාව ආරක්ෂාකාරි ලෙස ඉවත්කරගන්න ඕන.

ඩිසල්වලට සමාන තෙල් තමයි නෞකාවේ තියෙන්නේ. දැඩි රළ පහරත් සමග තෙල් ටැංකිවලට හානිවෙලා ඒ තෙල් විසිරි ගියහොත් සාගර සම්පත්වලට මෙන්ම බොනවිස්ට කොරල්පරයට හානි වෙන්න පුළුවන්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්ය තමයි මෙකි තෙල් විසිරිම වැලැක්විම සදහා ගතයුතු ක්‍රියාමාර්ග හා  අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබද යුහුසුළුව නිරික්ෂණය කිරිම.

අනතුරට පත්ව ඇති මෙම නෞකාව පාකරලා හෝ වෙනත් යාත්‍රාවක් මගින් මුහුදට ගැනිම ඉතා අපහසු කාර්යක්. ඒ සදහා මුහුදේ ජල මට්ටම විශාල වශයෙන් ඉහලට එසවෙන්න ඕන.එහෙම ජල මට්ටම එස වෙන්නේ නැහැ. මේ නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට සැහෙන කාලයක් යාවි. මගේ අත්දැකිම හා නිරික්ෂණය අනුව මෙකි ස්ථානයේ ගල්පර්වත  හා කොරල්පර තියෙනවා. ඒ නිසා  මෙම නෞකාව ඉවත් කිරිම ඉතා අපහසු කටයුත්තක් වේවි. 
නෞකාව ඉවත් කිරිමේ වගකිම අදාල සමාගම දැරිය යුතු වෙනවා. දැනට  මෙකි නෞකාවේ භාණ්ඩ නැහැ.  

මේ වගේ අනාරක්ෂිත මුහුදු තත්ත්වයත් තුලදි නෞකාවේ කපිතාන් වරයාට තිබුනා නෞකාව අදාල වරායට රැගෙන ඒම හෝ මුහුදෙන් ඈතට රැගෙන ගිහින්  අදාල ක්‍රියාමාර්ග ගන්න. නමුත් එම ක්‍රියාමාර්ග ගත්තාද යන්න පිළිබද  අදාල නිරික්ෂණ හා පසුවිපරම් කිරිමේදි සොයාගත හැකිවේවි. ආදල අවස්ථාවේ දි අදාල ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් මෙම නෞකාව අනතුරකට ලක්ව ඇති බවට නිරික්ෂණය වුවහොත් නිතිමය ක්‍රියාමාර්ග වුවත් ගැනිමට හැකියාවක් තියෙන බව" වැඩිදුරටත් අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.

ඊයේ (18) පස්වරුවේ ඇතිවු දැඩි සුළං තත්වය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාලු වරායෙන් පිටත නැංගුරම්ලා තිබු මෙම නෞකාවේ නැංගුරම කඩාගෙන විත් රූමස්සල කදුවැටිය ආශ්‍රිත ගල්පර්වතයක වැදි නතර වි තිබුනා.