Friday, May 3, 2024

General line - 0115112241

ඇමති රාවුෆ් හකීම්ගේ නිවසින් ලක්ෂ 60 ක් සොරා ගනියි : ඉරීගිය මුදල් නෝට්ටු වැසිකිලි වලකින් හමුවේ

දිනුක් හේවාවිතාරණ




අමාත්‍ය රාවුෆ් හකීම් ගේ නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.

සිය සැමියා වන රාවුෆ් හකීම් සතුව විකිනීමට නියමිතව තිබු මෝටර් රථයක් සඳහා ගනුම්කරුවෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එම මුදල තමන් අතට ලබා දුන් බවත් එම මුදල බෑගයක දමා සිය නිදන කාමරයේ ඇඳ යටින් දැමු බව අමාත්‍යවරයාගේ බිරිඳ විසින් කුරුඳුවත්ත පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

දින කිහිපයකට පසුව මුදල් දැමු බෑගය ගෙන බැලීමේදී ඒ තුල තිබු රුපියල් ලක්ෂ 60ක මුදල අතුරුදහන්ව තිබු බවත් එම මුදල් තිබු බෑගය කිසිවෙකු විසින් අවුස්සා තිබු අයුරු දකින්නට වූ බවයි අමාත්‍යවරයාගේ බිරිඳ වැඩිදුරත් පොලිසියට සිය පැමිණිල්ලේ දක්වා ඇත්තේ.

තමන් බෑගයේ මුදල් නොමැති බව දැකීමෙන් පසුව නිවසේ සේවය කරනු ලබන සේවිකාවන් තිදෙනාගෙන් විමසූ බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය සතියේ දිනක නිවසේ වැසිකිලිය උතුරා යාමෙන් ගලිවල සුද්ද කිරීමේදී එහි තිබී ඉරීගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමුවූ බවත් එම නෝට්ටු දෙක ගලිවල ශුද්ධ කිරීමට පැමිණි සේවකයින් රැගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇත. 

පළමු වරට ගලිවල ශුද්ධ කිරීමෙන් දින තුනකට පසුව නැවත ගලිවල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවද අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බව ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.