Friday, May 3, 2024

General line - 0115112241

සෙබළුන් යටකර පළා යන්න හැදු වෑන් රථයකට හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




වාද්දුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා මාර්ග බාධකයේදි අණ නොතකා ධාවනය වු වෑන් රථයකට එහි රාජකාරියේ යෙදි සිටි භට පිරිස් විසින් වෙඩි තබා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටිනවා.

කොල්ලකන ලද වෑන් රථයක් සම්බන්ධයෙන් පොලිසියෙන් ලද තොරතුරක් අනුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදි සිටි හමුදා නිලධාරින්ට් එම වෑන් රථය නවත්වන ලෙස අණකර ඇති අතර එම අවස්ථාවේදි වෑන් රථය අධික වේගයෙන් එම ස්ථානයේ රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකුද අනතුරට ලක් කොට පළා යාමේදි මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.

මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රදේශයේදි සිය වෑන් රථය කොල්ලකෑමට ලක්වු බව එහි අයිතිකරු මත්තේගොඩ පොලිසියට දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව මත්තේගොඩ පොලිසිය වහා ක්‍රියාත්මකවි අගුරුවාතොට පොලිසියට දැනුම් දීමක් සිදුකර ඇති අතර එම පොලිස් ස්ථානයෙන් යතුරුපැදි දෙකක පොලිස් නිලධාරින් සිව්දෙනෙකු කොල්ලකන ලද වෑන් රථය පසු පස ලුහුබැද තිබෙනවා.

මංකොල්ලකන ලද වෑන් රථයේ සවිකර තිබු GPS උපකරණයේ දත්ත උපයෝගි කර ගනිමින් එහි හිමිකරු වෑන් රථය ගමන් ගන්නා මාර්ගය පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් වාද්දුව නගරයේ පිහිටි යුධ හමුදා මාර්ග බාධකයේ නිලධාරින්ට වෑන් රථය පිළිබදව දැනුවත් කර ඇත.

ඒ අනුවයි හමුදා මාර්ග බාධකයේදි වෑන් රථය නැවැත්විමට අණ කරන අවස්ථාවේදි එහි සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙක්වද අනතුරට ලක් කරමින් පළා ගොස් ඇත්තේ.

යුධ හමුදා සෙබළුන්ගේ වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා ගිය වෑන් රථය පසුපස හමුදා සෙබළුන් හඹා ගොස් ඇති අතර පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වලාන දුෂණ මර්ධන ඒකකයේ පොලිසියේ කණ්ඩායමක් සමග එක්ව හමුදා සෙබළුන් මංකොල්ලකන ලද වෑන් රථය සිය භාරයට ගැනිමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේදි වෑන් රථයේ සිටි එක් සැකකරුවෙක් පළා ගොස් ඇති අතර හමුදා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් එක් සැකකරුවෙක් වෑන් රථය තුල සිටියදි අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත.

පළා ගිය සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා මේ වන විට පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.