Tuesday, May 7, 2024

General line - 0115112241

නිශ්ශංක සහ පාලිත අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අද (02) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිට සහ එම අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් පාලිත ප්‍රනාන්දු හට චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති අසනීප තත්ත්වයෙන් සිංගප්පූරුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටිය අතර අනෙක් විත්තිකාරු වන පාලිත ප්‍රනාන්දු ද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇපකරුවන්ට ලබන 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි ද නිකුත් කරනු ලැබුවා.