Saturday, May 18, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගය ඇරඹේ

තරංග රුක්ෂාන් /ලහිරු කපුගේ




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වනවා. ලබන 31 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. 

මධ්‍යස්ථාන 2,678කදී අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර  උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටිනවා. ඔවුන්ගෙන් එක් ලක්ෂ 98,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789ක්. 

විභාග කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා මේ වනවිට සියලූ පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප‍්‍රකාශ කළේ.  කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සියලූ විභාග අපේක්ෂකයින්ට ඔහු දැනුම්දීමක් ද කළා.  ප‍්‍රශ්න පත‍්‍ර හොඳින් කියවා පිළිතුරු ලිවීමේ වැදගත්කමද මෙහිදී සිහිපත් කෙරුණා.  

සිදුවිය හැකි වංචා සහ අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා සුදුසු පියවර ගෙන ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

උසස් පෙළ විභාගය වෙනුවෙන් ස්ථාපිත ප‍්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන  සහ සියලූ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.

විභාගය සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් කිසියම් අක‍්‍රමිකතාවක් වේ නම්, 1911 අංකයට දැනුම් දිය හැකියි.