Saturday, May 18, 2024

General line - 0115112241

එජාප ජ්‍යෙෂ්ඨයින් රැස්වී සාකච්ඡා වට කිහිපයක් තියයි

තරංග රුක්ෂාන් /ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය මෙම සතිය තුළ අවසන් කිරීම කෙරෙහි එහි ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡා වට කිහිපයක් ද මේ වනවිටත් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අද දිනයේ අත්සන් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා. එහෙත් එය දින නියමයක් නොමැතිව කල් දැමීමටයි ඊයේ තීරණය කෙරුණේ.

ඒ පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ "සන්ධානයේ පක්ෂ අතර අර්බුදයක් නෑ. අර්බුදය තියෙන්නේ සමහරු කියන කතා එක්කයි. සමහරු කියනවා සන්ධානය හදලා අපේක්ෂකයා තෝරමු කියලා. සමහරු කියනවා අපේක්ෂකයා තෝරලා සන්ධානය හදමු කියලා. ඉතින් මත දෙකක් තියෙනවා. මේ සතියේ ඒක බේරුමක් කරනවා. මම සන්ධානයේ පක්ෂ සියල්ලටම කතා කළා. ඔවුන් අපිත් එක්ක ඉන්නවා." යනුවෙනි. 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (04) ප‍්‍රකාශ කළේ නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ නව යෝජනා සියලූ පක්ෂ සමග සාකච්ඡා කර ප‍්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවයි.