Saturday, May 18, 2024

General line - 0115112241

අවුල හැදුනු හැටි හකීම් හෙළි කරයි

හේරත් ඒකනායක




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම කල්යාමට හේතුවී ඇත්තේ එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින සංවාදයක් බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා.

තමන්ද මෙම නව සන්ධානය වෙනුවෙන් සාකච්ඡාවලට එක්ව සිටින බවයි මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

සංවාද ඇති වී තිබෙන ව්‍යවස්ථා කරුණු මොනවාදැයි ද අමාත්‍ය රාවුෆ් හකීම්ගෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. 

එහිදී "සන්ධානයක එක්සත් ජාතික පක්ෂයට තියෙන ප්‍රමුඛතාවය ගැන, ලැබෙන ධූර පිළිබඳ වැනි පවතින ගැටලු සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කරමින් යනවා. ඒවා නිරාකරණය කරගත යුතුයි." යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉකුත්දා ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී "ප්‍රධාන පෙළේ පක්ෂ දෙකම මොනවගේ තීරණවලට එළඹෙනවද කියන එක උඩ තමයි ඒ පිළිබඳව තීරණය වෙන්නේ.  මම හිතන්නේ ඒකට තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. නමුත් විශේෂයෙන්ම සුළු ජාතීන් අතරේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා... ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් කවුරුන්ද කියලත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳවත් අපි දැනගත යුතුයි.  " යනුවෙන් සඳහන් කළා. 

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය කිසියම් සන්ධානයකට එළඹෙන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයා සහ ඔහුගේ ප‍්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.