Saturday, May 18, 2024

General line - 0115112241

මෙවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

හේරත් ඒකනායක




ඓතිහාසික මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

ශ‍්‍රද්ධා සම්පන්නව, විනයගරුකව හා පරිසර හිතකාමීව කටයුතු කරන ලෙසයි පෙරහැර නැරඹීමට මහනුවරට පැමිණෙන සියලූ සැදැහැවතුන්ගෙන් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල ඉල්ලීම් කරන්නේ. 

අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන පළමු කුඹල් පෙරහැරේ සූදානම පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. ඒ අනුව "අද රාත්‍රි 7.02ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර දළදා මාලිගාවේ ප්‍රධාන වහල්කඩින් නික්ම දළදා විදීයටත්, ඩී.එස් සේනානායක වීදියටත් පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ යටිනුවර වීදියට ගමන් කරන පෙරහැර රජ වීදියට ප්‍රවිෂ්ට වී දළදා මාළිගාවේ ප්‍රධාන වහල්කඩින් ගෙවැදීමෙන් පළමු කුඹල් පෙරහැර අවසන් වීමට නියමිතයි." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද සැලසුම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ 0812227257 / 0113024823 / 0113024268 / 0812233333 / 0812222222 මහජනතාවට පවතින කුමණ හෝ ගැටලුවක් සම්බන්ධයෙන් මෙම දුරකතන අංක වෙත දැනුම් දිය හැකි බවද සඳහන් කළා.

පෙරහැර පැවැත්වෙන දිනවල මහනුවර නගරයේ ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීම සඳහා ගනු ලැබ ඇති පියවර පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා. එහිදී නගරය තුළ වාහන ගමනාගමනය අවම කිරීම වෙනුවෙන් විශේෂ දුම්රිය 03ක් ස්ථාපිත කර තිබෙන බවත් ඒවා ගම්පොළ-මහනුවර, කඩුගන්නාව-මහනුවර සහ මාතලේ-මහනුවර ආදී ගමන් මාර්ගවල ධාවනය කෙරෙන බවයි සඳහන් කළේ. ඒ අනුව ඒ ආසන්නව සිට පැමිණෙන පිරිස් සඳහ තමන්ගේ වාහනවලින් බැහැරව අදාළ දුම්රියෙන් පැමිණිය හැකි බවද සඳහන් කළා. පෙරහැර පවත්වන සෑම දිනකම දහවල් 1.00 සිට රාත්‍රි 7.00 දක්වා කඩුගන්නාවේ සිට මහනුවර දක්වා පැමිණෙද්දී මාර්ගයේ වම්පස කිසිදු වාහනයක් නතර කර තැබිය නොහැකි බවද සඳහන් කළා. නැවතත් රාත්‍රි 7.00 සිට අලුයම 1.00 දක්වා මහනුවර සිට කඩුගන්නාව දෙසට යනවිට මාර්ගයේ වම්පස වාහන නතර කර තැබීමට ඉඩ නොලැබෙන බවද සඳහන් කළා.