Saturday, May 18, 2024

General line - 0115112241

ගෝඨාභයගේ නම ස්ථිරයි : අරුන්දික කියයි

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හෙට පවත්වන මහ සමුළුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ද අද (10) කියා සිටියා. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තබූ මාධ්‍ය හමුවකදීයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද පැවසුවේ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇති බවයි. 

මේ අතර ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හෙට පවත්වන මහ සමුළුව සඳහා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ වැඩි දෙනෙකු ද සහභාගී වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. 

හෙට පවත්වන මහ සමුළුවේදී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සිය නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමට ද නියමිතයි. එසේවුවහොත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් නොවන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී හෙට සවස 03 ට ආරම්භ වනවා.