Monday, May 20, 2024

General line - 0115112241

කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ

සමන්ත කුමාර/හර්ෂිකා සංජීවනි




කොළඹ නගරයේ එක්රැස් වන කැලි කසල අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීම මහජනතාවට පීඩාවක් නොවන අයුරින් සිදු කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයන් ද සිදුවන බවයි එහි සභාපති ඉසුර දේවප‍්‍රිය පැවසුවේ. 

අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත කැලි කසල රැගෙනයාම දුම්රියෙන් සිදු කිරීමට මුලින් සැලසුම් කර තිබුණා. එහෙත් ඉකුත් දින කිහිපයේදී කොළඹ නගරයේ සිට කසල අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත ප‍්‍රවාහනය කෙරුණේ ලොරි රථවලින්. මේ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රියගෙන් ප‍්‍රශ්න කළා. 

එහිදී ඔහු කියා සිටියේ දුම්රිය වැඩසටහන ක්‍රියාත්මක වන තෙක් මෙලෙස  ලොරි රථවලින් ප්‍රවාහනය සිදුවෙන බවයි.

මේ අතර කොළඹින් රැගෙන යන කසල අරුවක්කාලු කසල අංගනය වෙත බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ කොළඹ කසල අරුවක්කාලු කසල අංගනය වෙත බැහැර කිරීම සම්බන්ධයෙන් පුත්තලමේ වැසියන් විරෝධය පළ කරමින් සිටීමයි.

කෙසේවෙතත් අරුවක්කාලූ කසල අංගනය වෙත කසල බැහැර කිරීමට බාධා නොකරන්නැයි අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් ද ලබාදී තිබෙනවා.