Monday, May 20, 2024

General line - 0115112241

අයිස් සමග කටුනායකදී ඇල්ලූ සැකකරු ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ මත් ජාලයේ ප්‍රධානියා ගැන වමාරයි

ටී කේ ජී කපිල




රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 33 හැවිරිදි මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක්.

සැකකරු ඊයේ  දහවල් 11.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

සැකකරු විසින් මිලදී ගෙන තිබූ අලුත් ගමන් මලු දෙකක, ව්‍යාජ පතුල්වල මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01කට වැඩි ප්‍රමාණය සඟවා ගෙන තිබුණා.

මෙම පුද්ගලයාගේ මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සඳහා පැමිණ, ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැඳී සිටි 37 හැවිරිදි මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි රියැදුරෙකු ද මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහු පැමිණ සිටි වෑන් රථය භාරයට ගෙන තිබෙනවා.

සැකකාර ගුවන් මගියාගෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර එහිදී මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු බව අනාවරණය කරගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඔහු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා සහ වෑන් රථය අද (12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.