Monday, May 20, 2024

General line - 0115112241

"සජිත් එනවා" අද පැවැත්වෙන රැස්වීම ගැන එජාපයෙන් කතා කරයි

ඩිල්ෂාන් මඩවල/පතිරණ කේ දයාචන්ද්‍ර/මහේෂ් චතුරංග/සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සමුළුව ඊයේ (11) පැවැත්වීමෙන් පසු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ සහභාගීත්වයෙන් බදුල්ලේ දී අද (12) පැවැත්වෙන ජනහමුව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

නිවාස යෝජනා ක‍්‍රමයක් විවෘත කිරීම වෙනුවෙන් මෙම ජනහමුව පැවැත්වෙන බවයි ප‍්‍රකාශ වී ඇත්තේ. එහෙත් මෙම ජනහමුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ජනපති සටන ඇරඹීමක් ලෙස ඇතැම් අය අර්ථ දක්වනවා. ඒ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ ද ඒ හේතුවෙන්. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරයෙක් වන හෙක්ටර් අප්පුහාමිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම ජනහමුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන අවස්ථාවක් නොවූවත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ඇති ජන බලය මෙමගින් මැන ගත හැකි බවයි. 

බදුල්ලේ අද පැවැත්වෙන ජනහමුව සංවිධාන කිරීමේදී අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පෙරමුණ ගෙන සිටිනවා. ඒ අනුව අද පැවැත්වෙන මෙම ජනහමුවේ සැබෑ අරමුණ කුමක්දැයි නෙත් නිවුස් ඔහුගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "මට අදාළ වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා බදුල්ලට එනකොට පිළිගන්න එක. ඉතින් එතුමා එන නිසා "සජිත් එනවා" කියලා බදුල්ලේ ලොකු රැස්වීමක් කරනවා. කට්ටිය කියනවා ජනාධිපති වෙනවද? මොකක්ද.. එකක්... ඒක මම දන්නේ නෑ. ඒක ජනතාව අතේ තියෙන තීරණයක්." යනුවෙනි. 

මාතර ඌරුබොක්ක ප‍්‍රදේශයේ පැවති රැස්වීමකින් පසු අමාත්‍ය සාගල රත්නායකගෙන් ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මං දන්න තරමට මට ආරාධනාවක් ලැබුණා බදුල්ලේ නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරන්න. සජිත් ඇමතිතුමා හැම නිවාස ක්‍රමයක්ම විවෘත කරද්දි අපිට ආරාධනා එවනවා. " යනුවෙනි.  

එක්සත් ජාතික පක්ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නව සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන බවයි. මෙම නව සන්ධානය මෙම මාසය තුළ පිහිටුවන බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කර ඇත්තේ නව සන්ධානයක් පිහිටුවීම තමන්ද අනුමත කරන නමුත් ඊට පෙර ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවයි.