Friday, May 3, 2024

General line - 0115112241

ගෝඨා පරාජය කළ හැකි අපේක්ෂකයා කවුදැයි එජාපය සාකච්ඡා කරයි - සජිත් ඉවසීමෙන් බලා සිටියි

තරංග රුක්ෂාන්/ලහිරු කපුගේ




සුදුසු වේලාව එනතුරු ඉවසීමෙන් බලා සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පක්ෂ සාමාජිකයින් පිරිසක් සමග ඊයේ (20) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

කොළඹ පෞද්ගලික නිවසක පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් පිරිසක් ද එක්ව සිටියා.

ඊට සහභාගී වූ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන් තැනක් ඇති බවයි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අභියෝගයක් නොවන බවද මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත්, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අභියෝගයක් බවයි. 

එහිදී "ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න පුළුවන් අපේක්ෂකයා කවුරුන්ද යන්න තමයි අපි සාකච්ඡා කළේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් තමයි. ඒක අපි පිළිගන්න ඕනේ. ඔහුට සෑහෙන්න ඡන්ද ප්‍රමාණයක් මේ රටේ තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

මෙම සාකච්ඡාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළේ නව සන්ධානය අත්සන් කරන දිනයේම අපේක්ෂකයා ද රටට හෙළි කිරීමට උපරිම උත්සහයක් ගන්නා බවයි.

ඉදිරි සතිය තුළ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රටට හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද ප්‍රකාශ කළා.