Tuesday, May 14, 2024

General line - 0115112241

ඇමසන් වනයේ අලුතින් ගිනි ගැනීම් දසදහසක් - බ්‍රසීල ජනපති ආධාර සහ සහය ප්‍රතික්ෂේප කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක් පමණ හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොලිවියාවට අයත් වනාන්තර කොටසේද ගිනි ගැනීම් දරුණු ලෙස පවතින බව එම වාර්තාවන්හි සඳහන්.

මේ වනවිටත් එරටට අයත් අක්කර මිලියන 1.8 කට වැඩි භූමි ප‍්‍රමාණයක් ගිනි ගැනීම්වලට ලක්වෙමින් තිබෙනවා. ගිනි නිවීම සඳහා 4,000 කට අධික පිරිසක් දැනටත් මෙහෙයුම් අරඹා ඇති බව බොලිවියානු ජනපති ඉවෝ මොරාලස් ප‍්‍රකාශ කර තිබෙනවා. පැතිර යන ගිනි පාලනය කිරීමට ගුවන් යානා මගින් ජල ගැළුම් 19,000 ක් මේ වනවිට හෙළමින් ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේ අතර බ‍්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ජාතික ආයතනය පවසන්නේ අගෝස්තු මාසය තුළ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම් 13,339 ක් වාර්තා වන බවයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව ගත් කළ සියයට 422 ක වැඩිවීමක්. සමස්තයක් ලෙස ගත් කළ මේ වසර තුළ පමණක් ඇමසන් වනාන්තරයෙන් වාර්තා වූ ගිනි ගැනීම් සංඛ්‍යාව 77,000 කට අධිකයි.

මේ අතර ගිනි නිවීම සඳහා ආධාරයක් ලෙස ජී 7 සමුළුවේ රාජ්‍ය නායකයින් ලබාදීමට තීරණය කළ අමෙරිකානු ඩොලර් මිලියන 22 ක මුදල බ‍්‍රසීලය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ප‍්‍රංශයේ මූලිකත්වයෙන් මෙම මුදල් ලබාදීමටයි තීරණය කර තිබුණේ. 

ඒවා ප‍්‍රතික්‍ෂේප කිරීමට නිශ්චිත හේතුවක් බ‍්‍රසීලය ප‍්‍රකාශ කර නැතත් එරට ජනාධිපතිවරයා පවසන්නේ බ‍්‍රසීලය කොළණියක් කිරීමට ප‍්‍රංශය සූදානම් වන බවයි.

එමෙන්ම ඇමසන් වනාන්තරයේ හටගත් ගිනි ගැනීම් පාලනය කළ නොහැකි තත්ත්වයකට වර්ධනය වී නොමැති බවත් ගිනි නිවීම් සඳහා 44,000 ක හමුදා සාමාජිකයින් පිරිසක් යොදවා සිටින බවත් බ‍්‍රසීල රජය ප‍්‍රකාශ කර තිබෙනවා.