Saturday, May 4, 2024

General line - 0115112241

මහජන මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ හිටපු ජනපති ආර්යවකට වසර 58ක සිර දඬුවමක් 

දිනුක් හේවාවිතාරණ




අයථා ලෙස මුදල් පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරුවූ හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති පෝර්ෆිරියෝ ලොබෝගේ බිරිඳට වසර 58 ක සිර දඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) නියම කරනු ලැබුවා.

රෝසා එලීනා බොනිලා නම් හිටපු ජනාධිපති ආර්යාව විසින් මෙම චෝදනාව සම්බන්ධයෙන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට සිරගතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

2010 සහ 2014 යන කාල සීමාවේදී ජාත්‍යන්තර ආධාර සහ පොදු ආධාර ලෙස ලැබී තිබු අමෙරිකානු ඩොලර් 779,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මෙම හිටපු ජනාධිපති ආර්යාව වෙත එල්ල කර තිබුනේ ඒ සම්බන්ධයෙන් එරට නීතිපති දෙපාර්තමේන්තුව සහ අමෙරිකානු ජනපදයේ විශේෂ විගණන ඒකකයක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුවයි.

හිටපු ජනාධිපති ආර්යාව විසින් එම මුදල් වලින් තමාට අවශ්‍ය රන් ආභරණ මිලදී ගැනීම, වෛද්‍ය බිල්පත් පියවීම, තම දරුවන්ගේ අමතර පන්ති ගාස්තු ගෙවීම ආදිය සඳහා එම මුදල් යොදවා ඇති බවට කරුණු හෙළිවී ඇත.

මෙම මුල්‍ය වංචාව සඳහා හිටපු ජනාධිපති ආර්යාවට උදව් උපකාර කල බව කියන ඇයගේ සමිපතයෙක් වන සාවුල් එස්කොබාර් යන අයටද එරෙහිව අධිකරණය විසින් වසර 48ක සිර දඬුවම් නියම කර ඇත.

කෙසේ වෙතත් හොන්ඩුරාස් නිතිය අනුව ඔවුන්ට සිරගතව සිටීමට සිදුවන උපරිම කාල සීමාව වසර 30 ක් බවයි එරට අධිකරණ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.