Friday, May 3, 2024

General line - 0115112241

තලෙයිබාන් සටන්කාමීන් සමග සාකච්ඡා නතර කිරීමට ට්‍රම්ප් නියෝග කරයි

දිනුක් හේවාවිතාරණ




තලෙයිබාන් සටන්කාමීන් සමග පවත්වන සාම සාකච්ජා වහා නතර කිරීමට තමන් නියෝග කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර සිටිනවා.

ඒ තලෙයිබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත්විමේ සිද්ධියක් මුල් කර ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) දින කෑම්ප් ඩෙවිඩ් හීදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති ප්‍රමුඛ තලෙයිබාන් නායකයින් හා හමුවීමට නියමිතව තිබියදීය.

අමෙරිකාව වෙනුවෙන් සාම සාකච්ඡාවන් සඳහා එක්ව සිටින සල්මේ කලීල්සාඩ් ප්‍රකාශ කර සිටියේ තලෙයිබාන් සංවිධානය සමඟ “ප්‍රතිපත්තිමය වශයෙන්” හෙට (09) දිනයේදී සාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබු බවයි.

අමෙරිකාව සහ තලෙයිබාන් නායකයින් සමග 09 වන වටයේ රැස්විම් මාලාව පසුගියදා දෝහා හීදි පවත්වනු ලැබුවා.

ඇති කර ගත් ගිවිසුමට අනුව සති 20ක් තුලදි හමුදා සෙබළුන් 5,400ක් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනිමට අමෙරිකාව තලේයිබාන්වරුන්ට පෙර අවස්ථාවේදි පොරොන්දුවී තිබුණා.

මේ වන විට අමෙරිකානු සොල්දාදුවන් 14,000ක් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිනවා.