Saturday, May 18, 2024

General line - 0115112241

රනිල් - සජිත් සාකච්ඡාවේ එකඟතාවන්වල අවසන් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට

හේරත් ඒකනායක / කමල් සුරවීර




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හෙට (10) පැවැත්වෙන සාකච්ඡාවේදී ගනු ලබන එකඟතාවයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා පිළිබද තීරණයක් ගන්නා බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී අදහස් ඇමතිවරයා කියා සිටියේ  " පක්ෂය තුල කිසිදු බෙදීමක් නැහැ. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාත් කරගෙන යන්නේ පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක්. අගමැතිතුමයි සජිත් අමාත්‍යවරයායි කියන්නේ තාත්තයි පුතයි වගේ. හෙට දිනයේදී අගමැතිතුමා සහ සජිත් අමාත්‍යවරයා අතර සාකච්ජාවක් පැවැත්වෙනවා. එහිදී ගන්නා තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීලා එතැනින් අවසන් තීරණය ගනීවි." 

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවති සාකච්ඡාවේදී අමාත්‍ය කබීර් හෂීම් සහ තමන් අතර ඇති වූ බව කියන වාග් සංග්‍රාමය සම්බන්ධයෙන්ද ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

කබීර් හෂීම් කියන්නේ මගේ හොද මිත්‍රයෙක්. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. එහිදී අපි අදහස් බෙදා ගන්නවා. අපේ පක්ෂයේ සියලු ජනකොටස් හා ආගම් නියෝජනය වන පුද්ගලයින් සිටිනවා. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ පවුලනේ. එතැනදී තීරණ ගන්නේ රාජපක්ෂ පවුලේ අය විතරයි" අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ පක්‍ෂයේ ප්‍රතිපත්ති තමන් කිසිදා පාවා නොදෙන බවයි.