Friday, May 3, 2024

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට 

ටී.කේ.ජී.කපිල - කටුනායක




විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුවේට් සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසනවා.
               
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වයපාරිකයෙක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අද උදෑසන 9.40 ට කුවේට් සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 363 දරන ගුවන් යානයෙන් මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක මෙම රුපියල් මිලියන 1.6 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි 27,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 135 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

සිදුකරනු ලැබූ විමර්ශනයෙන් අනතුරුව මෙම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියෝග කළ කටුනායක ගුවන් තොටුපලේ රේගු අධීක්ෂණ නිලධාරීන් මෙම ගුවන් මගියාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළා.