Friday, May 3, 2024

General line - 0115112241

ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්මෙන් බදු සහන රැසක් - දූෂණය වැලැක්වීමටත් නව යාන්ත්‍රනයක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී අද පෙරවරුවේ එළිදැක්වුණා. ඒ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” යන තේමාව යටතේයි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ගැබ් වී ඇත්තේ රටේ ස්වෛරීත්වය සුරකින, දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, සියලු පුරවැසියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවුණු, තරුණයන් මත විශ්වාසය තබන වැඩපිළිවෙළක් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියේ.

පවතින බදු බර අවම කිරීම සහ බදු ක්‍රමය සරළ කිරීම සිය බදු ප්‍රතිපත්තිය වන බවද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියා.

සිය නායකත්වය යටතේ ක්‍රියාත්මක වන රජයක් තුල දූෂණයට කිසිදු ඉඩක් නොතබන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එහිදී අවධාරණය කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එම උත්සව සභාව ඇමතුවා.

“ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්මට” දස වැදෑරුම් ප්‍රතිපත්තියක් ඇතුළත්. ජාතික ආරක්ෂාවට මුල්තැන, මිත්‍රශීලී සහ නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්, ඵලදායි පුරවැසියෙක් - සශ්‍රීක මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය සහ විනයගරුක නීතිගරුක සහ ගුණගරුක සමාජයක් යන කරුණු ඊට ඇතුළත්ව තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වන අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලඥයන්, කලාකරුවන් ඇතුළ විශාල පිරිසක් එක්ව සිටියා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර් ජාලය ඔස්සේ  පරිශීලනය කිරීම සඳහා පරිඝණක යෙදවුමක් මෙහිදී එලි දැක්වීම විශේෂත්වයක්.