Thursday, May 9, 2024

General line - 0115112241

ගෑස් හිඟය නිසා ආපන ශාලා හිමියන් ආහාර මිල ගණන් ඉහළ දැමීමේ සූදානමක - කළුකඩ මිලට ගෑස් විකුණු 37 දෙනෙකුට නඩු




රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් කළුකඩ මිලක් නිර්මාණය වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඇතැම් ආපන ශාලා හිමියන් ආහාර මිල ගණන්ද ඉහළ දමා ඇති බවයි. මේ හේතුවෙන් ගෑස් හිඟය මගහැරවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පසුගිය ඔක්තෝම්බර් මස 04 වෙනිදා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු කරන්න පියවර ගත්තා. නමුත් එම වාසිය මේ දක්වා පාරිභෝගිකයින් වෙත ලැබී නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ. මේ වන විට ඇතිවී තිබෙන ගෑස් හිඟය නිසා කළුකඩ මිලක් නිර්මාණය වී ඇති බවත් ඇතැම් ආපනශාලා හිමියන් වැඩි මිලට ගෑස් මිලදී ගැනීමට සිදුවීම නිසා ආහාර මිල ගණන් ඉහළ දමා ඇති බවයි ඔහු කියා සිටියේ. ගෑස් හිගය නිසා පාරිභෝගිකයින් විශාල වශයෙන් අසරණ භාවයට පත්ව ඇති බවත් දේශපාලන වේදිකාවල ලබා දෙන පොරොන්දු පසෙකලා හැකි ඉක්මනින් ගෑස් හිගය නැති කිරීමට රජය පියවර ගත යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීරගෙන් කරුණු විමසීමක් කළා. ඔහු පැවසුවේ අද සිට සතියක් පමණ ඇතුළත පවතින ගෑස් හිඟය මගහැරී යනු ඇති බවයි.

දැනට හිගයක් බවට පෙනී ගියත් ගෑස් සමාගම් සමග සාකච්ජා කරනු ලැබුවා. එහිදී එම ගෑස් සමාගම් ප්‍රකාශ කර සිටියේ ඉදිරි සතියේදී අවශ්‍ය පරිදි ගෑස් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. එම සමාගම් විසින් ඇණවුම් කර තිබු ගෑස් අඩංගු නැව් මෙරටට පැමිණීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව එහිදී කරුණු අනාවරණය කර සිටි බවත් ඇතිවී තිබෙන කටකතා හේතුවෙන් පාරිභෝගිකයින් තමන් සතුව තිබෙන අමතර ගෑස් සිලින්ඩර් සඳහා ගෑස් ලබා ගැනීමට කටයුතු කිරීම නිසා එක්වර විශාල ගෑස් ඉල්ලුමක් ඇතිවූ බවට ගෑස් සමාගම් ප්‍රකාශ කර සිටිය බවයි පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේ.

ගෑස් හිඟයක් මවාපාමීන් ගෑස් සිලින්ඩර් සැඟවූ සහ වැඩි මිලට අළෙවි කිරීම වැනි වැරදි සිදුකළ වෙළදුන් 37 දෙනෙකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඇතැම් වෙළද ව්‍යාපාරිකයින් මේ හරහා ප්‍රතිලාභ ලබා ගැනීමට පෙළඹී තිබෙනවා. ඇතැම් අය ගෑස් ළඟ තබා ගෙන නොදී සිටීම, ගෑස් වැඩි මිලකට විකිණීම සහ ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්නේ නම් ඒ වෙනුවෙන් ගෑස් උදුනක් මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවූ බව කියන වෙළදුන් 37 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශය කටයුතු කර ඇති බවයි එහි සභාපතිවරයා ප්‍රකාශ කලේ. මෙවැනි කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට 1977 යන දුරකථන අංකය හරහා දැනුම් දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.