Sunday, May 19, 2024

General line - 0115112241

ඉලංකෙයි තමිල් අරසු සහය සජිත්ට ලැබෙද්දී තරුණ කණ්ඩායම්වල සහය ගෝඨාභයට




ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහාය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබුණද, ඉන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂය පෙන්වාදෙන්නේ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරේ දෙමළ වැසියන්ගේ ප්‍රසාදය මේවනවිට ගිලිහී ඇති බවයි.

ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද උතුරු නැගෙනහිර විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙළක් සිදුකළා. ඒ ඔස්සේ ජනතාවගේ ආකර්ශනය වෙනදාට වඩා දිනාගැනීමට හැකිවූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ. 

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ඊයේ (03) තීරණය කළා. දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුව ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසුවේ පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උතුරු නැගෙනහිරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙන බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලනය සිදුකරන්නේ උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් සමග බවයි ඔහු ප්‍රකාශ කළේ. 

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, උතුරේ කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු අවධාරණය කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මේවනවිට ප්‍රසිද්ධ කර ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ යාපනයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.