Thursday, May 16, 2024

General line - 0115112241

ඇමති සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක් : සිය අගමැති තෝරා ගන්නා හැටි හෙළි කරයි 




තමන් ජනාධිපතිවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා.

පැරණි පුරුදු ක්‍රමයටම දේශපාලකයින්ට රටේ ජනතාව රවටන්නට තමන් කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ. පැරණි පවුල්වාදී ගජමිතුරු කල්ලියක දේශපාලනය අවසන් කිරීම සඳහා හැකියාව ඇත්තේ නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාවට බවයි මෙහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියා.

යුක්තිගරුක සමාජයක් බිහිකිරීම රටේ ජනාධිපතිවරයාගේ සිටම ආරම්භ විය යුතු බවත් කිසිදු දේශපාලකයෙකුට සිය දේශපාලන බලය යොදාගෙන ව්‍යාපාර කිරීමට ඉඩ නොතබන බවද මෙහිදී කියා සිටියා. එමෙන්ම තමන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමට කිසිදු දේශපාලකයෙකුට ඉඩ නොතබන බවත්, වෘත්තීය වේදීන්ගෙන් පිරුණු තරුණ ඇමති මණ්ඩලයක් පත් කරන බවයි මෙහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම දුෂිතයින්ට, හිංසකයින්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ උමුතු ආගමික වාදීන්ට තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බව මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියා.

එමෙන්ම තමන් මේ රටේ කාන්තාවන්ට ගරුකරන, යහපත් සමාජ රටාවක් බිහි කිරීමේ වෙනසක් ඇති කිරීම සඳහා කැපවෙන බවයි සිය විශේෂ ප්‍රකාශය සිදුකරමින් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.