Friday, May 3, 2024

General line - 0115112241

සජිත්ට සිරිකොත දොර වැසේ - පුරුදු තැනටම පිරිස රැස් වේ




සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාගේ සහභාගීත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (21) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාක්ෂික හමුව සහ මාධ්‍ය හමුව එම ස්ථානයේ පැවැත්වීම හදිසියේ අවලංගු කර තිබෙනවා. 

මෙම අවස්ථාවට සහභාගීවීමේ අරමුණෙන් පාක්ෂිකයින් පිරිසක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණා. 

පසුව ඔවුන් සියලූදෙනා කොළඹ පිහිටි සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාගේ ප‍්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය වෙත ගොස් තිබෙනවා. එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද පැමිණ සිටිනවා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා සහ රැස්ව සිටින පාක්ෂිකයින් අතර හමුවක් මේ වනවිට සිදුවන බවයි.

මේ අතර පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා සුභවාදී ප‍්‍රතිචාරයක් දක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියා. 

ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මේවනවිට පැවැත්වෙන පාක්ෂික හමුවෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට ද නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ සිය පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.