Sunday, May 19, 2024

General line - 0115112241

පාසල් නිල ඇඳුම් සඳහා සුදුසු වවුචර් ද? රෙදි ද? - තීරණය සාකච්ඡා මට්ටමේ




පාසල් ළමයින්ට නිල ඇදුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන්නැයි ගුරු වෘත්තීය සමිති නව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් ඉල්ලීමක් කරනවා.

පාසල් ළමයින් සඳහා නිල ඇදුම් රෙදි ලබාදීම වසරේ 3 වන අධ්‍යයන වාරය අවසන්වීමට පෙර සිදු කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි.

මෙවර ඒ සඳහා කිසිදු සූදානමක් හෝ තවමත් දක්නට නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මේ බව සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ අදාළ නිලධාරින් සමග ඊයේ (25) රාති‍්‍රයේද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. සිය ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පාසල් ළමයින්ට නිල ඇදුම් රෙදි හෝ රෙදි ලබාගැනීමට වවුචර් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

හෙට (27) රැස්වන කැබිනට් මණ්ඩලයේදී ද ඒ පිළිබද සාකච්ඡා කර සුදුසු ක‍්‍රමවේදය තෝරාගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

ලබන සිකුරාදා පාසල් නිවාඩු දෙන බැවින් නිල ඇදුම් රෙදි හෝ වවුචර් ලබාදීම ඊට පෙර සිදු කිරීමට නොහැකි වනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ලබන වසරේ පළමු වාරය ආරම්භ කර පළමු සතිය ඇතුළත නිල ඇදුම් රෙදි හෝ වවුචර් පාසල් ළමයින්ට ලබාදෙන බවටයි අමාත්‍යවරයා සහතික වුණේ.

සිදුවූ ප‍්‍රමාදයට හේතුව ජනාධිපතිවරණයේ කටයුතු නිසා පැවති ආණ්ඩුව පාසල් ළමයින්ට නිල ඇදුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් මූලික කටයුතු සිදුකර නොතිබීම බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියාසිටියා.