Sunday, May 12, 2024

General line - 0115112241

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹේ - හදිසි අනතුර නිසා නිමාලිගේ රන් පදක්කම් බලාපොරොත්තුව අහිමි වේ




දකුණු ආසියාවේ මහා කී‍්‍රඩා මංගල්‍යය වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල නේපාලයේ, කත්මන්ඩු නුවරදී අද (01) ආරම්භ වනවා.

මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 13 වන වරටයි. සමාරම්භක උළෙල අද පස්වරුවේ කත්මන්ඩු නුවර දසරත් රංගසාලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙවර සමාරම්භක උළලේ ශී‍්‍ර ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමිව ඇත්තේ හෙල්ල විසිකිරීමේ ශූරියක් වූ නදීකා ලක්මාලිටයි. 

මේ අතර නේපාලය වෙත පැමිණි බොහෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිසි පරිදි පහසුකම් සලසා නොමැති බවටයි කත්මන්ඩු නුවරින් වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා මළල කී‍්‍රඩා කණ්ඩායම ද නිශ්චිත නවාතැනක් නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්වූ සිද්ධීන් ද මීට පෙර වාර්තා වුණා. එවන් පසුබිමකයි මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ආරම්භ වන්නේ. 

නේපාලයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක් මෙවර පැවැත්වෙන්නේ වසර විස්සකට පසුවයි. නේපාලය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය දරන 3 වන අවස්ථාවද මෙය වනවා. 

1984 වසරේ  පැවති පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ 1999 වසරේ පැවති 8 වැනි දකුණු ආසියානු ක්‍රී උළෙළ සඳහ නේපාලය මීට පෙර සත්කාරකත්වය ලබාදුන්නා. සාම්ප‍්‍රදායික වශයෙන් වසර දෙකකට වරක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර එය මෙවර පැවැත්වෙන්නේ වසර 3කට පසුවයි. 

දකුණු ආසියානු කලාපයේ රටවල පවතින දේශපාලන ගැටලු සමාජ ආර්ථික අර්බුද හේතුවෙන් 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අවස්ථා කිහිපයකදීම කල්දැමීමට සිදු වුණා.

ක්‍රීඩා 28ක් යටතේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2500කට අධිකයි. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික සංඛ්‍යාවක් සහභාගි වනවා. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළලේ විශේෂත්වයන් කිහිපයක්ම තිබෙනවා. 

වසර 8කට පසු මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කර තිබීම එක් විශේෂත්වයක්. එමෙන්ම සත්කාරක නේපාලයේ ඉල්ලීම පරිදි ගෝල්ෆ් සහ කරාටේ යන ක්‍රීඩා මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්කර තිබෙනවා. මෙවර වැඩිම ඉසව් සංඛ්‍යාවක් පැවැත්වෙන්නේ පිහිනුම් ක්‍රීඩාවෙන්. පිහිනුම් ඉසව් 20ක් මෙවරද පැවැත්වීමට නියමිත අතර මලල ක්‍රීඩා ඉසව් 19ක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවරද ක්‍රීඩා ඉසව් කිහිපයකින් රන් පදක්කම් බලාපොරොත්තු දල්වා සිටිනවා. එ් පිහිනුම්, මලල ක්‍රීඩා, බර ඉසිලීම, පාපැදි, වූෂු ඇතුලු ක්‍රීඩා ඉසව්වලින්. 2016 වසරේ අවසන් වරට ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ අනුශූරයින් බවට පත් වු ශ්‍රී ලංකාව එහිදී රන් පදක්කම් 25ක් දිනා ගැනීමට සමත් වුණා. ඉන් රන් පදක්කම් 12ක්ම ශ්‍රී ලංකාව දිනා ගත්තේ පිහිණුම් ඉසව්වලින්. 

මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 9ක්, පාපැදි ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ බර ඉසිලීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනිමට ශ්‍රී  ලංකාව එවර සමත් වුණා.
 
ගියවර රන් පදක්කම් 7ක් දිනා ගනිමින් වාර්තා පිට වාර්තා තැබූ පිහිනුම් ශූර මැතිව් අබේසිංහ පිළිබද මෙවර ශ්‍රී  ලංකාව වැඩි බලාපොරොත්තු දල්වා සිටිනවා. 

එමෙන්ම මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන්ද ශ්‍රී ලංකාවේ තවත් රන් පදක්කම් බලාපොරොත්තුවක්. 

ඉන්දික දිසානායක ප‍්‍රමුඛ බර ඉසීලීමේ කණ්ඩායම සහ කාන්තා සහ පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්ද මෙවර පදක්කම් බලාපොරොත්තු දල්වා සිටිනවා.  

ගියවර දකුණු ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනූ නිමාලි ලියනාරච්චි මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ නැහැ. නේපාලය බලා පිටත්ව යාමට දිනකට පෙර ඇය හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් ඇගේ අතක අස්ථි බිදීමක් සිදු වූ අතර මේ හේතුවෙන් ඇයට මෙවර එම අවස්ථාව හිමිවී ගියා. 

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ තවත් නිත්‍ය රන් පදක්කමක් මෙවර අහිමිවී යාමද කණගාටුවට කරුණක්. 

දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මලල කී‍්‍රඩා තරග ඉසව් 11කම තරග වාර්තා ලියවී ඇත්තේ ශී‍්‍ර ලංකා නම ඉදිරියෙන්. මීටර් 100, මීටර් 200 සහ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වලදී දමයන්ති දර්ශා පිහිටුවූ දකුණු ආසියානු වාර්තා බිද හෙලිමට මෙතෙක් කිසිදු කී‍්‍රඩිකාවක් සමත්වී නැහැ.

මීටර් 200 සහ මීටර් 400 ධාවන ඉසව්වල පිහිටු වූ දකුණු ආසියානු වාර්තාවලටද තවමත් හිමිකම් කියන්නේ රොහාන් ප‍්‍රදීප් කුමාරයි.  

මෙවර 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට එක්ව සිටින සියලූ ශී‍්‍ර ලාංකික ක්‍රීඩක කි‍්‍රඩිකාවන්ට ශී‍්‍ර ලංකා ධජය ඉහලින්ම ඔසවා තබන්නට හැකිවේවා නෙත් ස්පෝර්ට්ස්මන් සුබ ප‍්‍රාර්ථනා කරනවා.