Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජනපතිගෙන් පැසසුම්




සිය ඉන්දීය සංචාරයේදී ලබා දුන් විශිෂ්ට ආගන්තුක සත්කාරය වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ප්‍රශංසාව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ලෝකය දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා තැබූ ෆේස්බුක් සටහනෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ජනාධිපතිවරයා ලෙස සහභාගී වන සිය පළමු විදේශ සංචාරය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 28 වනදා ඉන්දියාව බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා යළි මව්බිමට පැමිණියේ ඊයේ රාත්‍රී 09.45 ට පමණයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් පිටතට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් වීම විශේෂත්වයක් වුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කටයුතු අධීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත් බවයි එම අවස්ථාවට සහභාගී වී සිටි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ. ගුවන් තොටුපළ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ද ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉන්දීය සංචාරයට එක් වුණේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවයි.