Friday, May 3, 2024

General line - 0115112241

පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න : විභාග කොමසාරිස් ජනරාල්




මෙවර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා. නියමිත වේලාවට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ඉල්ලා සිටියේ. ආපදාවට ලක් වූ ප්‍රදේශවල අයදුම්කරුවන් කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.


සිරගත වූවන්, පරිවාස භාරයේ සිටින්නන් සහ විශේෂ රෝග තත්වයන් නිසා රෝහල්ගතව සිටින්නන් වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් සඳහා ද විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ.

රට පුරා සෑම විභාග මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන්ගේ අත්සන සහතික කරන ලද විභාග ප්‍රවේශපත්‍රය සහ වලංගු හැඳුනුම්පතක් අනිවාර්ය වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සිහිපත් කළා. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය වලංගු හැඳුනුම්පතක් ලෙස පිළි ගනු ඇති. ඊට අමතරව පාසල් සිසුන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අයදුම්කරුගේ දත්ත ඇතුළත් ඡායාරූපය සහිත ලිපිය ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී අනන්‍යතාවය සහතික කිරීම සඳහා පිළිගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 17,008 ක්.