Friday, May 10, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ - අපේක්ෂකයින්ට උපදෙස් මාලාවකුත්




ශී‍්‍ර ලංකා ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වනවා. මේ සඳහා පෙනී සිටින මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 17,008 ක්. ඔවුන්ගෙන් හාරලක්ෂ 33,050 ක් පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 83,957 ක්. 

අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනවා. සියලු ප‍්‍රදේශ ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 4,987 ක් ද, ඒවා සම්බන්ධීකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් ද පිහිටුවා තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ.

සෑම විභාග මධ්‍යස්ථානයකටම සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබෙනවා. අපහසුතා මගහරවා ගැනීම සඳහා නියමිත වේලාවට පැය භාගයකට හෝ පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටුවා තිබෙනවා. බන්ධනාගාරගත රැඳවූවන් වෙනුවෙන් මැගසින් බන්ධනාගාරයේ ද, පරිවාස භාරයේ සිිටින අයදුම්කරුවන් වෙනුවෙන් හෝමාගම, වටරැක ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මහරගම අපේක්ෂා රෝහලේ සහ අයි. ඞී. එච්. උණ රෝහලේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. 

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගී වී සිටින මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ට එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලයේදී විභාගයට පෙනී සිටීමට ද පහසුකම් සපයා තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ.

විභාග අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අක‍්‍රමිකතා සිදු කරන විභාග අයදුම්කරුවන්ට දැඩි දඬුවම් ද ලබා දෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන්ගේ අත්සන සහතික කරන ලද විභාග ප‍්‍රවේශපත‍්‍රය සහ වලංගු හැඳුනුම්පතක් අනිවාර්ය වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සිහිපත් කළා. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය, වලංගු රියදුරු බලපත‍්‍රය, වලංගු හැඳුනුම්පතක් ලෙස පිළි ගනු ඇති. 

ඊට අමතරව පාසල් සිසුන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අයදුම්කරුගේ් දත්ත ඇතුළත් ඡායාරූපය සහිත ලිපිය ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී අනන්‍යතාවය සහතික කිරීම සඳහා පිළිගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර පවතින ආපදා හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට, අවශ්‍ය නම් ළගම ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.