Sunday, May 19, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන කලින් තොරතුරු දුන් බවට කියන්නැයි පොලිසියේ ලොක්කෙක් බලපෑම් කරලා : පොලිසියේම දෙදෙනෙක්ට ආරක්ෂාව දෙන්නැයි ජනාධිපති කොමිසමෙන් නියෝග 




මෙරට කතෝලික දේවස්ථාන සහා විදේශ මහ කොමසාරිස් කාර්යාලයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ විසින් අනතුරට පෙර කරන ලද දැනුම්දීම් පොලිස් ස්ථාන වෙත ලබා දුන් බවට අසත්‍ය සටහන් යොදන ලෙසත් පොලිස් සටහන් පොත්වල තොරතුරු මකා දමන ලෙසට කොළඹ ප්‍රදේශයේ භාරව සිටි ඉහළ පෙලේ පොලිස් නිලධාරියෙකුගේ නියෝග ක්‍රියාත්මක නොකල හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට සහ දුරකථන ක්‍රියාකාරිණියකට ආරක්ෂාව ලබා දෙන ලෙස ජනාධිපති විමර්ශන කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වනවා.

ඉහළ පොලිස් නිලධාරීන්ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට තොරතුරු සැපයීම හේතුවෙන් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ වෙරළබඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකථන ක්‍රියාකාරිණියටයි. ඒ අනුව ඔවුන්ට වින්දතයින් ආරක්ෂා කිරීමේ පනතේ ඇති ප්‍රතිපාදනයන්ට අනුව ආරක්ෂාව ලබාදෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයාට ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම නියෝග කර ඇත්තේ.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා තොරතුරු ලබාදී තිබු බවට දනවමින් පොලිස් සටහන් පොත්වල අසත්‍ය සටහන් ඇතුලත් කරන ලෙස කොළඹ ප්‍රදේශය බාරව සිටි ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දැනුම් දීම මත ඔහුගේ සහය නිලධාරියෙකු විසින් කොච්චිකඩේ පල්ලිය පිහිටි ප්‍රදේශය බාර වෙරළබඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

කෙසේ වුවත් වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් නිතිවිරෝධිව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු විසින් පොලිසියේ සියලුම සටහන් පොත් වල පොලිස් දින මුද්‍රා තබා ඇති බවට ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේදී කරුණු හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙලෙස අසත්‍ය තොරතුරු ඇතුලත් කරන ලෙසට බලකරන ලද ඉහළ පොලිස් නිලධාරියා විසින් වෙරළබඩ පොලිසියට අනියුක්ත දුරකථන ක්‍රියාකාරිණිය කාර්යාලයට කැඳවා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දෙමින් ෆැක්ස් පණිවිඩයක් ඒවා ඇති බවත් එහි අකුරු අපැහැදිලි නිසා එය තේරුම් ගැනීමට නොහැකිවූ බවට පවසන ලෙසයි.

කෙසේ වුවත් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා දිනසේන මහත්මිය එම දුරකථන ක්‍රියාකාරිණියගෙන් විමසා ඇත්තේ එම ෆැක්ස් පණිවිඩයට පෙර සහ පසු ලැබූ ෆැක්ස් නිවේදනයන් කිසිදු අපැහැදිලි තාවයක් නොමැති නිසා ඒ ගැන කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවදී අදාළ දුරකථන ක්‍රියාකාරිණිය හඬමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඉහළ නිලධාරියෙක් සිදුකල බලපෑම් හේතුවෙන් එලෙස ප්‍රකාශ කළ බවයි. 

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා කතෝලික දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් වලට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ මෙම කරුණු හෙළිවී තිබෙනවා.