Saturday, May 18, 2024

General line - 0115112241

ඉස්ලාම් ත්‍රස්තවාදය අප නතර කලේ නැත්නම් එය කලාපයටම තර්ජනයක් : අගමැති මහින්ද රාජපක්ෂ 




ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කරන්න සිද්ධවුණත් දැනට ඇතිව තිබෙන අළුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීම බවයි අගමැතිවරයා සඳහන් කලේ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ සියළු ත්‍රස්තවාදින් ශ්‍රී ලාංකිකයින් බවත් මේ තර්ජනය අපේ රටට පමණක් සීමාවූ තර්ජනයක් නොවන බවත් කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහා මෙම ඉස්ලාමිය ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

" 2008 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයින් සහභාගිවී නොසිටි බවයි. නමුත් ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට පමණක් සිමා වෙලා නැහැ. කලාපයේ අනෙක් රටවලට මෙම තර්ජනය තිබෙන නිසා එය මර්ධනය කළ යුතුයි. මේ අවුරුද්දේ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමිය ත්‍රස්තවාදීන් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සහ කරමින් සිටින බවට ලද තොරතුරක් නිසා ඉන්දියාව පුරාම ආරක්ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්" අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කතාව පහතින් දැක්වේ.