Saturday, May 18, 2024

General line - 0115112241

72 වන නිදහස් දින සැමරුමේ තේමාව  “සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්”




"සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්" තේමාව ඔස්සේ 72 වන නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට රජය තීිරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික දින උත්සවය උත්කර්ෂවත් හා අභිමානවත් ලෙස පැවැත්වීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ වන විටත් ඒ සඳහා කටයුතු සුදානම් කර ඇත.

ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමක් අද (3) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති අතර සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ ජාතික දින උත්සවය පැවැත්වීමට එහිදී තීරණය විය.

පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව සියයට 30කින් අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. තම ජීවිත නොකතා අනෙක් අයගේ ජීවිත බේරා ගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාලිය සඳහා එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඊට අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය විය.

ජාතික දිනය දා, සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන් මහජනතාවට බාධා නොවන අයුරින්, උත්සව භූමිය ආශ්‍රීත ප්‍රදේශයේ ආරක්ෂව තහවුරු කිරීම, රථ වාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුව ඇතැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අවස්ථාවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහයන අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් සහභාගි වූ බවයි අගමැති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.