Saturday, May 18, 2024

General line - 0115112241

රංජන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය ගැන ආණ්ඩුවේත් අප්‍රසාදය




පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව සිදුවන නීති කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදත් අදහස් පළ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය අනුමත කළ නොහැකි බවයි. නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව ක්‍රියාත්මක නොකල යුතු බවද එහිදී අවධාරණය කෙරුණා.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, ඉකුත් ආණ්ඩුව සමයේදී මෙන් දැන් පොලීසියට හෝ වෙනත් නීති ආයතනවලට දේශපාලන බලපෑම් සිදුනොවන බවද අවධාරණය කරමින්.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බවයි. වරද නිලධාරීන්ට පවරා නිදහස්වීමට ආණ්ඩුව දරණ උත්සාහය අනුමත නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ප්‍රමුඛතාව දී විමර්ශන කලයුතු බොහෝ කරුණු ආණ්ඩුව අමතක කර ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවා. පාස්කු ඉරිදා ප්‍රහාරයද ආණ්ඩුවට එලෙස අමතක වූ විමර්ශනයක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.