Sunday, May 19, 2024

General line - 0115112241

රනිල් - රන්ජන් මාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරළා : රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි




හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක තමන්ව ඝාතනයට කුමන්ත්‍රණය කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාධ ප්‍රශ්නයක් මතු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියේ හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ සහ රාමනායක මහතා අතර නියෝජ්‍ය අමාත්‍යවරයකු සිටියදී දුරකථන සංවාදයක් පැවැත්වූ බවට චෝදනා කරන ලද හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බවයි.

තමාට වෙඩි තැබීම පිළිබඳව එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ රන්ජන් රාමනායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළ බවත් පසුව හිටපු අගමැතිවරයා කුමන්ත්‍රණයට අනුමැතිය ලබා දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

තමන් වෙඩි තැබීමට පුහුණුවෙමින් සිටියදී වැරදීමකින් මහින්දානන්ද අලුත්ගමගෙට වෙඩි වැදුණු බවට පවසන ලෙස හිටපු අගමැතිවරයා රන්ජන් රාමනායකට උපදෙස් ලබාදී ඇති බවට එම සංසරණය වෙමින් පවතින හඬ පටයේ ඇති බවයි.  

" ගරු කථානායකතුමනි, මේකේ තේරුම මොකක්ද? අපි බැඳුම්කර වංචාව ඇතුළු දුෂණ සම්බන්ධයෙන් කතා කළා. එහෙම කතා කළා කියලා අපිව මරණ එක හරිද? මේ සිදුවීමේදී මා පුදුමයට පත්වුදේ තමයි රන්ජන් රාමනායක මාව ඝාතනය කුමන්ත්‍රණය කිරීම නෙමෙයි ඒකට හිටපු අගමැතිතුමා අනුබලදිමයි" අමාත්‍යවරයා කියා සිටියා.

හිටපු රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි සියලුම මන්ත්‍රීවරුන් සිදුවන්නේ කුමක්ද යන්න දන්නා බැවින් මේ සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගත යුතුයි, මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් තමන් හෙට දිනයේදී පොලිසියේ පැමිණිල්ලක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදුවූ බව කියන සංවාදයක් ඇතුළත් හඬපටයක් ද සමාජ ජාල වෙත මුදා හැර තිබෙනවා. එහි ඇතුළත් වන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතින් සිදුවූ බව කියන වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සංවාදයක්. මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ 2016 වසරේ ජූනි මස 22 වනදායි. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකළ බව කියන සංවාදයක තවත් හඬපටයක් මේවනවිට නිකුත් වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකු සමග සිදුකරන සංවාදයක් එහි ඇතුළත්.