Sunday, May 19, 2024

General line - 0115112241

රන්ජන්ගේ දුරකතන සංවාද ගැන තොරතුර ලැබුණු හැටි ගම්මන්පිල කියයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පැවැත්වූ බව කියන දුරකතන සංවාද ලක්ෂ ගණනක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී තවත් හඬපට පිළිබඳ තොරතුරු අනාවරණ වනු ඇති බවයි. 

එහිදී "සමහරු ප්‍රශ්න කරනවා මේ දුරකතන සංවාද සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණේ කෙසේද කියලා. රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා තමන්ගේ ජංගම දුරකතනයේ සෑම දුරකතන සංවාදයක්ම පටිගත වෙන ඇප් එකක් දාගෙන තමයි හිටියේ. දුරකතනයේ ඉඩ මදි වුණාම මේ සංවාද CDවලට පිටපත් කරගෙන. මේ ක්‍රියාවලිය කරන්න සම්බන්ධ එතුමගේ සමීප මිතුරෙක්...මම හිතන්නේ අමනාප වෙලා වෙන්න ඕනේ.. මේ සියල්ල කොපි කරගෙන දේශපාලකයෙකුට ලබා දීලා තියෙනවා. " යනුවෙන්ද සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද මෙම ආන්දෝලනාත්මක දුරකතන සංවාදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. එහිදී සඳහන් කළේ මෙම ක්‍රියාවන් හරහා ජනතාව විශ්වාස කළ ආයතන පවා අපකීර්තියට පත්ව ඇති බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි පැවසුවේ විශේෂ කොමිසමක් හරහා මෙම දුරකථන සංවාද සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බවයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ අන්දෝලනාත්මක දුරකථන සංවාද පිළිබඳ මතුව ඇති තත්ත්වය සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත්, පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බවත්, රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (07) දිනයේදී ප‍්‍රකාශ කළා.