Friday, May 10, 2024

General line - 0115112241

කොරෝනා නිසා චීන වැසියන්ට විවාහ වීමත් තහනම්




විවාහවීමට දින නියම කරගෙන සිටී නම් එම විවාහයන් තාවකාලිකව අත්හිටුවන්නැයි චීන බලධාරීන් හුබෙයි ප්‍රාන්තය ප්‍රමුඛව තවත් නගර කිහිපයක වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මාරාන්තික නව කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බලධාරීන් මෙලෙස විවාහ අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

හෙට දිනය චීන වැසියන් සුභ දිනයක් ලෙස සලකනු ලබනවා. ඊට හේතුව වන්නේ ගණිත ක්‍රමයට හෙට දිනය සටහන් වන්නේ 02 02 20 20 ලෙසයි.

එම ඉලක්කම් පෙල ඉදිරියට මෙන්ම පිටුපසටත් සමාන අයුරින් ලිවිය හැකි බැවින් චීන වැසියන්ට එය සුභ දිනයක්. එබැවින් හෙට වැනි දිනවලදී චීන වැසියන් සිය විවාහ මංගල්‍යයන් පැවැත්වීමට මහත් රුචියක් දක්වන බව සඳහන්.

කෙසේ වෙතත් පවතින ව්‍යවසකාරී තත්ත්වය හමුවේ හෙට දිනයේ විවාහ මංගල්‍ය නොපවත්වන ලෙසයි බලධාරීන් චීන වැසියන් හට දැනුම් දෙන්නේ. විවාහ මංගල්‍ය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇත්නම් එම කටයුතු අත්හිටුවා අනෙක් පුද්ගලයින්ට ද පවතින තත්ත්වය දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලීමක් කරනවා. බීජිං සහ ෂැංහයි නුවරවල හෙට දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබූ විවාහ මංගල්‍යන් මේවනවිටත් අත්හිටුවා අවසන්.

ඒ අනුව සුභ දිනයක් වුවත් හෙට දිනයේදී එම නගරවල පිහිටි විවාහ ලියාපදිංචි කිීරීමේ කාර්යාල සුපුරුදු ඉරිදා දිනවල වසා තැබෙන පරිදි වසා තැබීමටයි බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

නව කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක්ව වසා දමා ඇති හුබෙයි නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු විවාහ මංගලයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ඇති.

විවාහ මංගල්‍යයන්ට අමතරව අවමංගල්‍ය උත්සවයන්ද ජනයා එක්රැස් කිරීමකින් තොරව සිදු කරන ලෙසටයි බලධාරින් උපදෙස් ලබාදී ඇත්තේ.

එසේම නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාගේ ආදාහන කටයුතු ප්‍රමාද වීමකින් තොරව හැකි ඉක්මනින් සිදුකරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටිනවා.

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මේවනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 259 ක්. වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12 000 කට ආසන්නයි.