Sunday, May 12, 2024

General line - 0115112241

නව කොරෝනා වෛරසය ගර්භණී මවකගෙන් කලලයට සම්ප්‍රේෂණය විය හැකි බවට සැකයක්




ගර්භණී මවකට නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් ඇයගේ කලලයට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට චීන වෛද්‍යවරුන් සැක පළ කරනවා. ඒ, කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් බිහිකළ දරුවාට ද නව කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමගයි. මවට කොරෝනා වෛසරය ආසාධනය වුවත් දරුවා උපත ලබා තිබුණේ නිරෝගී දරුවෙකු ලෙසයි.

ඉපදුනු සැනින් එම දරුවා ළමා රෝහලකට ඇතුළත් කර දැඩි අධීක්ෂණය යටතේ රඳවා තැබූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එහෙත් පැය 30 කට පසුව දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වූ බවයි වෛද්‍යවරුන් පැවසුවේ.  ඒ අනුව ගර්භණී මවකගෙන් ඇගේ කුස තුළ සිටින දැරුවාට නව කොරෝනා වෛරසය ආසාදනය වේ නම් එය වෛරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු නව පැතිකඩක් බව ද වෛද්‍යවරුන් පවසනවා. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් ගර්භණී මවක් බිහිකළ දරුවෙකුට ද දින 17 කින් පසුව වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. මවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් දරුවා බලා ගැනීමට කුලී පදනම මත හෙදියක් කැඳවා තිබූ අතර පසුව අනාවරණ වී ඇත්තේ හෙදියට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ මවගෙන් ද, නැතහොත් හෙදියගෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.