Friday, May 3, 2024

General line - 0115112241

සජින් වාස්ට ඇප 




විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා.   

විත්තිකරු ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන බැවින් ඔහුට නාමයෝජනා පත්‍ර භාර දීමට අවශ්‍ය බැවින් ඔහු ඇප මත මුදාහැරීමට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා. ඒ අනුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර නැවත සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටින ලෙසට තරයේ අවවාද කරනු ලැබුවා. 

මේ අතර පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවෙකු අධිකරණ ශාලාවේ දී ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් නඩු විභාගය මාර්තු මස 17 වෙනිදාට කල් තබන ලදී .      
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා මත සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවා.    

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සදහා  සක්‍රීයව දායක වී ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.   

සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට  නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇත.