Friday, May 3, 2024

General line - 0115112241

යුරෝපා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම දින 14කට අත්හිටුවයි : පොදු මගී සේවාවන් හෙට සිට විෂ බිජ හරණය කිරීමට ජනපති ගෙන් උපදෙස් 




කොරෝනා වෛරසය ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයකට බෙහෙවින් බලපා ඇති බැවින් යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා අද නියෝග කර තිබෙනවා. ඊට අමතරව යුරෝපා රටවල සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ.

හෙට (14) සිට  පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදා ගන්නා බස් රථ සහ දුම්රිය  විෂ බීජ හරණය කිරීමටත් ඒ සඳහා ආරක්ෂක අංශ සහාය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දී තිබෙනවා.

රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ  පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙන ලදියි.
 
රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වා ගැනීම සහ පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදුකිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කර ගත යුතුව ඇතැයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

කොරෝනා කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කර සිටියා. රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසි සිටියා.

ශ්‍රී ලංකාව තුල රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබුවා. දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේදී සඳහන් කෙරුණා. 

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට  අනුගමනය කළ  ක්‍රියාමාර්ග අනුව රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. 

එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.