Wednesday, May 15, 2024

General line - 0115112241

චීනය ද අභිබවා ඉතාලියෙන් කොරෝනා මරණ වාර්තා වෙයි




ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන නව කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එය ලොව රටවලින් 03 න් 02 කටත් වැඩි ප‍්‍රමාණයක්. කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට එල්ල වී ඇත්තේ යුරෝපා කලාපයටයි. වර්තමානයේදී නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වී ඇති ඉතාලියෙන් පමණක් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 368 ක් වාර්තා වුණා.

විදෙස් වාර්තාවන්ට අනුව චීනය ද අභිබවා දිනක් තුළ රටකින් වාර්තා වුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වනවා.  ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,809 ක්. 

මේ අතර ඉරානයෙන් ද ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 113 ක් වාර්තා වනවා. ඒ අනුව ඉරානයෙන් මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 724 ක්. 

මේ අතර ඉතාලියෙන් පසු කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපානු රටවන ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 96 ක් වාර්තා වනවා. එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 292 ක්.  

ඊට අමතරව ප‍්‍රංශයෙන් කොරෝනා මරණ 36 ක්, බි‍්‍රතාන්‍යයෙන් කොරෝනා මරණ 14 ක් සහ අමෙරිකාවෙන් කොරෝනා මරණ 11 ක් ඊයේ (15) වාර්තා වුණා.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6,515 ක් වනවා. ලොව පුරා මේවනවිට සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 69, 415 ක්.