Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා අභියෝගය මැද මහ බැංකු මුදල් ප‍්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කෙරේ




මුදල් ප‍්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් පොලී අනුපාත තවදුරටත් පහත හෙළීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ගෝලීය වශයෙන් ව්‍යප්ත වන නව කොරෝනා වසංගතය හා ශී‍්‍ර ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමග ආර්ථික කටයුතු සදහා සහය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙනයි.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6.50 සිට සියයට 6.25 ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 7.50 සිට සියයට 7.25 ක් දක්වාත් පදනම් අංක  25 කින් අඩු කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.   

මේ අතර කොළඹ කොටස් වෙළදපොල අද දිනයේද වසා දමා තිබෙනවා. ඒ, රජය මගින් අද සිට ලබන බ‍්‍රහස්පතින්දා දක්වා දින 3 ක් විශේෂ නිවාඩුවක් ප‍්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්. නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා මහජන කි‍්‍රයාකාරකම් අවම කිරීම සහ කොටස් වෙළදපොල සමග ගණුදෙනු කරන සියළු දෙනාගේ ආරක්‍ෂාව වෙනුවෙන්  මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.

බැංකු සහ වෙළද නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබූ බැවින් කොළඹ කොටස් වෙළදපොල කටයුතු ඊයේ දිනයේද සිදු කෙරුණේ නැහැ.