Friday, May 3, 2024

General line - 0115112241

දඹදිව ගිය වන්දනාකරුවන් යලි ගෙන්වීමට පියවර 




දැනට ඉන්දියාවේ දඹදිව සංචාරයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. 

මේ වන විට වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව වන්දනා නඩ විසිදෙකකට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවෝ එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටියි. මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය 2020 මාර්තු 09 වැනි දින දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පෙරය. කෙසේවුවද, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාර සහ වන්දනා නඩ සම්බන්ධ කරගැනීමෙන් ගණනය කරනු ලැබූ මෙම සංඛ්‍යා ලේඛනවල ඇතැම් අවස්ථාවලදී වෙනසක් ඇතිවීමට හැකියි. ඊට හේතුව මෙයින් ඇතැම් වන්දනා නඩ මේ අවස්ථාව වන විට සංචාරයේ යෙදී සිටීමයි. 

ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල උතුරු ඉන්දියාවේ පිහිටි බෞද්ධ වන්දනා සිද්ධස්ථානවල වැඩවසන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ වන්දනා නඩ සමඟ සමීප ලෙස සබඳතා පවත්වමින් සිටින අතර වර්ධනය වමින් පවතින තත්ත්වය සැලැකිල්ලට ගනිමින් පෙරළා සියරට යෑමේ කටයුතු කඩිනම් කරන ලෙසට වන්දනා නඩවලින් ඉල්ලීමක් කොට ඇත.

මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ගුවන් ප්‍රවේශපත්‍ර වෙනස් කරවාගැනීම පිණිස අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව ඔවුන් පෙරළා සියරට පිටත්කිරීමේ කටයුතුවලට රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල පහසුකම් සපයමින් සිටියි.