Sunday, May 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේදී ජනතාව පිළිපැදිය යුතු මූලික කරුණු 10 ක් රජය දැනුම් දෙයි




ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේදී ජනතාව පිළිපැදිය යුතු මූලික කරුණු 10 ක් රජය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. නිසි සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම ඒ අතරින් ප‍්‍රධානයි. 

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ ද ජනතාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දීම අත්‍යාවශ්‍ය බවයි පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

මෙලෙස තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය කටයුතුවලට පහසුවක් සඳහා බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. 

වෙළඳසැල් අසළ ජනතාව එකවර ඒකරාශී වීම වැළැක්වීම වෙළඳසැල් හිමියන්ගේ ද වගකීමක් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් වැළකී සිටියහොත් මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ග පවා අසාර්ථක විය හැකි බවයි.

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ අවදානම සිහිතබා ගනිමින් ජනතාව ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසුවේ එක් පුද්ගලයෙකුගේ වැරදි කි‍්‍රයාවක් හේතුවෙන් වෛරසයෙන් මිදීමට රට මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ග අනතුරේ හෙලිය හැකි බවයි.

ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවද පෙන්වා දෙන්නේ පැය කිහිපයක් තුළ ජනතාව වැඩි වශයෙන් අද දිනයේදී වෙළදසැල් තුළට ඒකරාශිවීමේ හැකියාවක් ඇති බැවින් වෛරසය පැතිර යාමට එය හේතුවක් විය හැකි බවයි. එබැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත රුපියල් දහසක් වටිනා භාණ්ඩ මල්ලක් නිවෙස් වෙත ගොස් අළෙවි කිරීමට ති‍්‍රවිධ හමුදාවේද සහය ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව ඉල්ලා තිබෙනවා. අවම වශයෙන් අධි අවදානම් ප‍්‍රදේශ ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ති‍්‍රක්වල පමණක් හෝ මෙය කි‍්‍රයාවට නංවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක, සුපිරි කී‍්‍රඩක කුමාර් සංගක්කාරද නෙත් නිවුස් හරහා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට සහය ලබාදෙමින් ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලෙසයි. 

නව කොරෝනා උවදුරින් මිදීම සඳහා හඳුන්වා දී ඇති කි‍්‍රයාමාර්ග සහ නිසි පිළිවෙත් සමග මුළුමනින්ම අනුගත වන්නැයි රජය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළදසැල් විවෘත කිරීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුවද වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙසටයි වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.