Sunday, May 19, 2024

General line - 0115112241

ජංගම රථවලින් බේකරි නිෂ්පාදන ස්වයං නිරෝධායනයට ලක් කළ නිවෙස් වෙතත් යෑමේ දැඩි අවධානමක් තියෙනවා

කාංචන කුමාර/අශෝක එරමිණිගම්මන




අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ ප‍්‍රමාණවත් තරම් ගබඩා කර ඇතැයි රජය පවසනවා. ඒවා හිඟයකින් තොරව රටපුරා බෙදා හැරීමටද විධිවිධාන සැලසීමටයි පියවර ගෙන ඇත්තේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස්කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව රජය පෙන්වා දෙනවා.

ඇදිරි නීතිය ඉවත් කළ සමය තුළ පරිභෝජනයට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම ජනතාව අතර ගැවසෙන කාලය අඩුකර ගැනීමට උපකාරී වන බවයි රජය වැඩිදුරටත් සිහිපත් කරන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ රේගුවෙන් මුදා හැරීම සදහා කඩිනම් පියවර ගෙන ඇති බවද ශී‍්‍ර ලංකා රේගුවේ මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත සදහන් කළා.

නාවික සහ වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ නෙත් නිවුස් වෙත කියාසිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබාදීම සදහා පැහැදිලි වැඩපිලිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බවයි.

ඇදිරි නීතිය ඉවත් කළ සැණින් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් සතොස අළෙවිසැල් සියල්ල විවෘත කරන බව සතොස සභාපති නුෂාඞ් එම් පෙරේරා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන්ද නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එළවළු ඇතුළු කෘෂි ආහාර ද්‍රව්‍ය අවශ්‍ය තරම් තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි. අද දිනයේ නියමිත වේලාවටත් පෙර ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවත් අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශිවීම වැළැක්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛනිජ තෙල් සැපයුම කිසිදු බාධාවකින් සහ හිඟයකින් තොරව සිදුකරන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.

මීට අමතරව අත්‍යාවශ්‍ය ඖෂධ සහ කෘෂි ආහාර ද්‍රව්‍ය ද ප‍්‍රවාහනයට අවසර ලබා දෙන බවයි පොලිසිය සඳහන් කළේ.

ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේදී බේකරි නිෂ්පාදන රැගෙන යන ජංගම රථ සඳහා අවසර ලබාදීමටද පොලිසිය තීරණය කර තිබුණද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසන්නේ එය අවදානම් කි‍්‍රයාවක් බවයි.

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මෙම සංචාරක වෙළෙන්දන් නොදැනුවත්කමින් නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලටත් මෙම බේකරි නිෂ්පාදන අලෙවි කිරීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් මතු විය හැකි බවයි. 

මෙලෙස ජංගම රථවලින් බේකරි නිෂ්පාදන අළෙවි කිරීමේදි සහ ඒවා මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය කි‍්‍රයාමාර්ග පිළිබදවද මෙහිදි දැනුවත් කෙරුණා.

භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව වැඩි වශයෙන් වෙළදසැල් තුළට ඒකරාශී නොවීමට ඒවායෙහි හිමිකරුවන් සහ ආරක්‍ෂක අංශ වගබලා ගතයුතු බවටයි ආණ්ඩුව දැනටමත් උපදෙස් ලබාදී ඇත්තේ.