Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන්ට දෙන ඖෂධය සොයා එන ජනතාවට අනතුරු ඇඟවීම් කරයි




අද (23) දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඖෂධ මිලදී ගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඔසු සැල්වලට පැමිණීමෙන් වළකින්නැයි වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශ ඉකුත්දා තීරණය කළා. එබැවින් අද දිනයේදී බොහෝ පිරිස් මෙම ඖෂධය ලබාගැනීම සඳහා ඔසුසැල්වලට පැමිණෙනු ඇති බවට අනුමාන කරනවා. එහෙත් වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ අදාළ ඖෂධය රෝගය වළක්වා ගැනීමේ ඖෂධයක් නොවන බවයි.

ඒ පිළිබද අවිස්සාවේල්ල දිස්ති‍්‍රක් මහ රෝහලේ ක්‍ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය භාග්‍ය බොලොන්නේ පැහැදිලි කළා.  එහිදී ඇය පෙන්වා දුන්නේ මෙම ඖෂධය වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කිරීමෙන් ශරීරයේ අවයව රැසක් විනාශ කිරීමේ හැකියාවක් ද ඇති බවයි.

වෛද්‍ය නිර්දේශයකින් තොරව මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය භාවිත කිරීම හරහා අතුරු ආබාධ ඇති විය හැකි බවයි අවිස්සාවේල්ල දිස්ති‍්‍රක් මහ රෝහලේ අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දමයන්ති සමරසිංහ ද නෙත් නිවුස් වෙත කියාසිටියේ.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සියලූ සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත ඊයේ (22) නියෝග කළා. මෙම නියෝගයන් කඩ කරන  ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුම් දෙන්නේ.