Saturday, May 18, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කළ වහාම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරේ




ප‍්‍රදේශ රැසකට පැනවූ ඇදිරි නීතිය අද (23) පෙරවරු 6.00 ට ඉවත් කිරීමත් සමග බොහෝ පිරිස් නගර වෙත තවදුරටත් පැමිණෙමින් තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින්. 

ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සදහා නෙත් නිවුස් වාර්තාකරුවන් මේ වනවිටත් ප‍්‍රදේශ රැසක ක්‍ෂේත‍්‍ර චාරිකාවේ නිරත වී සිටිනවා. ඔවුන් පැවසුවේ ඇතැම් වෙළදසැල් අසල මීටරයක පරතරය තබා ගනිමින් ජනතාව රැදී සිටියද ඇතැම් ප‍්‍රදේශවල එවැනි තත්ත්වයක් දැකගත නොහැකි බවයි.

ගාල්ල, මාතර මෙන්ම බදුල්ලේ ජනතාවද ඇදිරි නීතිය ඉවත් කළ වහාම නගරයට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ ගොවීන්ගෙන්, වෙළදුන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරීගොස් ඇති බවයි.

ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කොතරම් දැනුම්දීම් කළද ඒවා නිසි පරිදි සිදු නොවන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් මෙහිදී නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ජනතාව සෞඛ්‍ය උපදෙස් කඩ කළ හොත් වෛරසයෙන් රට බේරා ගැනීමට මෙතෙක් සිදුකළ වැඩපිළිවෙල අනතුරට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්‍ෂක අංශද අවධාරණය කරනවා.