Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වා ගෙන යාමට ජනපති ගෙන් උපදෙස් 




කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතරතුර රාජ්‍ය යාන්ත‍්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප‍්‍රධාන ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සහ රාජ්‍ය  සේවකයන් වෙත අද නිකුත් කළ චක‍්‍ර ලේඛයක් මගින් එම උපදෙස් මාලාව දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මාර්තු මස 19  දින නිකුත් කරන ලද උපදෙස් මාලාව අනුව මාර්තු මස 23  සිට 27  දක්වා රාජ්‍ය සේවකයන්ට සිය නිවෙස්වල සිට දුරස්ථ සේවා සැපයීමේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා දෙපාර්තමේන්තු හා අංශ ප‍්‍රධානීන් දුරකථන හා කෙටි පණිවුඩ මගින් කළයුතු රාජකාරී සඳහා උපදෙස් දෙනු ඇති.  මෙම කාලය රජයේ නිවාඩු නොවන අතර නිවසේ සිට රාජකාරි සඳහා දුරකථනයෙන් සම්බන්ධවීමට රාජ්‍ය සේවකයින් සූදානම්ව සිටිය යුතු බව එම චක‍්‍රලේඛයේ සඳහන්. 

නිවසේ සිට රාජකාරී කිරීමෙන් ස්වයංව නිරෝධායනය වන අතර දුම්රිය, බස් රථ හා නැවතුම් පොළවල අනවශ්‍ය ලෙස ඒකරාශීවීම එමගින් වැළකෙනවා.

එය සියලූදෙනාගේ සෞඛ්‍යය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට  ඉවහල් වන බවයි අදාළ චක‍්‍රලේකයේ දැක්වෙන්නේ. 

අත්‍යවශ්‍ය සේවාවන් ද, විදුලිය, දුරකථන, ඉන්ධන, බැංකු කටයුතු, භාණ්ඩ ප‍්‍රවාහනය, බෙදාහැරීම අඛණ්ඩව හා විධිමත්ව කිරීමට එය උපකාරි වනවා.  කොරෝනා වෛරසය මර්දන හා නිවාරණ කටයුතුවල නිරත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට, පොලීසීයට සහ ආරක්ෂක සේවාවන්ට අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත කාර්ය මණ්ඩල සහ මාධ්යමවේදීන්ට සිය කාර්යය ඉටුකර ගැනීමට ද ඉන් පහසුවක් සැලසේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරිවුම්හල්වල, මත්පැන් අළෙවිසැල්වල, කඩ සාප්පුවල, හා භෝජනාගාරවල ගැවසීමෙන් හා විනෝද චාරිකාවල යෙදීමෙන් වළකින ලෙස ද රජය දැනුම් දෙනවා.  

රටට, අවශ්‍ය තරම් ආහාර, ජලය හා ඉන්ධන ඇති අතර, ඒවා බෙදා හැරීමට පියවර ගෙන තිබේ. අවශ්‍යතාවට වැඩියෙන් භාණ්ඩ රැුස් කිරීමෙන් වැළකීම සියලූදෙනාගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇති බව ද එහි සඳහන්. 
රජයේ සියලූම නිලධාරීන්ගේ මාසික වැටුප මාර්තු 23 දින ගෙවීමට උපදෙස් ලබාදී තිබෙනවා. නිවසේ සිටින  කාලය තුළ නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය බෝග වගාවන්ට අවස්ථාවක් කර ගන්නා ලෙසත්, දරුවන් හා වැඩිහිටියන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත්, අවශ්‍ය දේ මිලදී ගැනීමට තනිව වෙළෙඳපොළට යන ලෙසත්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් එමගින් වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා. 

රූපවාහිනී හා ගුවන් විදුලි සේවා විකාශය කරන ආගමික, අධ්‍යාපන, චිත‍්‍රපට, නාට්‍ය, ප‍්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් නිවසේ සිට නැරඹීමට මෙම කාලය යොදාගන්නා ලෙසයි රජය ඉල්ලා සිටින්නේ.