Saturday, May 18, 2024

General line - 0115112241

මෙරට කොරෝනා ආසාධිතයන් ගණන 97ක් දක්වා ඉහළට - සෞඛ්‍ය අංශයන්ගෙන් ජනතාවට උපදෙස්




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් පුද්ගලයින් ගණන මේ වනවිට 97 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ රාති‍්‍රය වනවිට වෛරසය ආසාදිත බවට තවත් රෝගීන් කිහිපදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගැනුණු වෛරසය ආසාදිත නව රෝගීන් ගණන 10 ක්. 

සැක සහිත රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් 227 දෙනෙකු දිවයිනේ රෝහල් 22 ක ප‍්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

මේ අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි ඞී එච් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. 

ඒ අනුව එම වෛද්‍යවරයා ද ප‍්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා කළේ. කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරයා නව කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු නොවන බව ද රෝහල් ආරංචි මාර්ග අනාවරණ කළා. 

එම වෛද්‍යවරයා  අයි ඞී එච් රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ කටයුතු කළ අයෙකු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එමෙන්ම, එම වෛද්‍යවරයා විදේශිකයන් හෝ මීට පෙර වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු සමග සබඳතා පවත්වා නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 

ඒ අනුව, නව කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ මේ වනවිට ව්‍යාප්ත වී ඇති ආකාරය පැහැදිලි වන බවත්, සියලූදෙනා ප‍්‍රවේශම් විය යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.