Sunday, May 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට අද සිට ඇප නැහැ




ඇඳිරි නීති නියෝග තරයේ කි‍්‍රයාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා. ඒ අනුව සෑම පොලිස් බල ප‍්‍රදේශයකම කිසිඳු හේතුවක් මත මහජනතාවට, මහා මාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවසින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවටයි අවධාරණය කර ඇත්තේ. 

මේවනවිට රජයේ ඔසුසැල් හැර සියලූම ඖෂධ හල්, සුපිරි වෙළඳසැල් හා අනෙකුත් ආකාරයේ සියලූම වෙළඳසැල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉඩ ලබාදී ඇත්තේ මාර්ග ගත ක‍්‍රමයට එනම් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණයි. ඒ අනුව කිසියම් හෝ වෙළඳසැලක් මෙම නීති කඩකරමින් විවෘත කළ හොත්, නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් විවෘත කර ඇති සුපිරි වෙළඳසැල් වසා දැමීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථානාධිපතවරුන්ට අද පස්වරුවේ උපදෙස් ලබා දුන්නා. ඒ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ගොස් බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට ලබාදුන් අවසරයෙන් එම වෙළඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වීමත් සමගයි.  

ඇතැම් පිරිස් ඖෂධ වට්ටෝරුව ද අද දිනයේ අවභාවිත කරමින් මාර්ගයේ ගමන් කළ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.