Tuesday, May 14, 2024

General line - 0115112241

ඊශ‍්‍රායල අගමැතිත් ස්වයං නිරෝධායනයට




ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (30) ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සභිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීමත් සමගයි. පසුගිය සතියේ ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍යවරයා ද සහභාගී වූ පාර්ලිමේන්තු සැසියට වෛරසය ආසාදිත එම සභිකයා සහභාගී වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හෙට දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදාළ කොරෝනා ආසාදිත සභිකයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සමීප සම්බන්ධතාවක් නොපැවැත්වුණු බැවින් අග‍්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධානයට ලක් වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඇතැමුන්ගේ මතය වී ඇතැයි මාධ්‍ය වාර්තාවල සදහන්.

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා වාර්තා වන ආසාදිතයින් ගණන මේ වනවිට හත්ලක්ෂ 40,235 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 35,035 ක්. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 10,779 ක්.

ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 7,340 ක් ද, චීනයෙන් කොරෝනා මරණ 3,034 ක් ද වාර්තා වනවා. ඉරානයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2,757 ක්. ප‍්‍රංශයෙන් කොරෝනා මරණ 2,606 ක් ද සහ අමෙරිකාවෙන් කොරෝනා මරණ 2,490 ක් ද වාර්තා වුණා. කෙසේවෙතත්, තවදුරටත් ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එරටින් මේවනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 
එක්ලක්ෂ 42,793 ක්.