Saturday, May 18, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා මරණ දස දහසේ සීමාව ඉක්මවා යද්දී චීනයෙන් කිසිඳු මරණයක් වාර්තා නොවේ




ගතවූ පැය 24 තුළ චීනයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා. දිනක් තුළ චීනයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවුණේ ඉකුත් ජනවාරි මාසයෙන් පසු පළමු වරටයි.

ගත වු පැය 24 තුළ රෝගීන් 32 දෙනෙකු හමුවී ඇතත් ඒ අතරට කිසිදු චීන ජාතිකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්. ඔවුන් සියළු දෙනා විදේශයන්හි සිට රෝගය වැළදී චීනයට පැමිණි අයයි.

දෙවන දිනටත් දකුණු කොරියාවෙන් දිනක් තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 50 කට අඩුවී තිබෙනවා. 

චීනයේ සහ දකුණු කොරියාවේ තත්ත්වය එසේ වුවත් ජපානයේ තත්ත්වය දරුණු අතට හැරෙමින් ඇත්තේ අලූතින් කොරෝනා රෝගීන් 252 දෙනෙකු හමුවීමත් සමගයි.

මෙම දත්ත වාර්තා වූයේ ජපානය තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදීයි. 

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද අද දිනයේ දස දහසේ සීමාව ඉක්මවා ගියා. මරණ දස දහසේ සීමාව ඉක්මවා ගිය ලොව තුන්වන රට අමෙරිකාවයි. මේ වනවිට එරටින් කොරෝනා මරණ 10,943 ක් සහ රෝගීන් තුන් ලක්‍ෂ 67,652 දෙනෙකු වාර්තා වනවා. කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක කී‍්‍රඩා සංකීර්ණ හා සම්මන්ත‍්‍රණ ශාලා රෝහල් බවට පත් කර තිබෙනවා. 

මේ අතර මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට චිලී රාජ්‍යයද තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ප‍්‍රවාහන සේවා සහ පෞද්ගලික ප‍්‍රවාහන සේවා භාවිත කරන සියළු දෙනා මුඛ ආවරණ පැළදිය යුතු බවටයි අවධාරණය කර ඇත්තේ. මීට පෙර තවත් රටවල් කිහිපයක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට තීරණය කළා. 

කොරෝනා වෛරසය හේතුවෙන් කොළොම්බියාව සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමේ තීරණය අපේ‍්‍රල් මස 26 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.